උස්සන ඉන්නට බැරුවා
පෙට්ටිය මීගමු අළුවා
කැළණි වෙහෙර ලං කෙරුවා
බිම තබන්න ඉඩ බැලුවා
පිට ලීයෙන් වද්ද ගත්ත
මහ පුටුවක ඈදි ගත්ත
තලත්තෑනි උන්දැ මහත
අළුවා බෙදයි හතර අත
කෝට්ටේ සිරි මුනි දළදා
වැදුමට ගිය විට ශනිදා
කැළණි වෙහෙරෙ දුටු පෙරදා
අළුවා සුවද හැම පරදා
අළුවා බෙදන ඒ අම්මා
සිතට නගයි මගේ අම්මා
අළුවා රසය වින්ද මෙමා
සුපුරුදු වචනය දැම්මා
හැම තැනකම හැම තිස්සේ
බොදු බැතියෙන් මුව සැරසේ
අතමිට සරුදෝ පෙරසේ
කොහේදෝ අම්මේ වාසේ
මහත්තයෝ මම දොම්පේ
අළුවා පෙට්ටියේ හැප්පේ
කලකින් දුටුවේ හප්පේ
ගියාවත් ද ඒරොප්පේ
දූවරු දුසිමක් වැදුවා
යුතුකම් නිති ඉටු කෙරුවා
බඩපිස්සී ලෙඩ වූවා
මම ඒකිගෙ පිහිටට වූවා
අළුවා පෙට්ටියේ රැදුනේ
කදුලයි නිති විකුණන්නේ
තුට්ටු දෙකකි අත රැදුනේ
බෙහෙත් තුණ්ඩුවට ගන්නේ
කැළණිය පෙරහැර දළදා
කෝට්ටේ පිංබිම වැන්දා
අළුවා සුවද නැතිද මෙදා
විමසුවෙ හිත් සැක පළදා
අළුවා රසය වියැකෙන්නේ
ලෙඩ ඇදකයි ඇය ඉන්නේ
නිවනට නිසි සරිලන්නේ
සිත් සතොසිනි පින් දුන්නේ
----------------------------------------------------------
(සේයාරුව අන්තර්ජාලයෙනි)
© අවාරේ සිතුවිලි - Awārē Sithuvili
No comments:
Post a Comment