අත්වැල මිසක දෑතක සරණක් වීද
කළ කම් පවට නොලැබුණි ඇවිදින පාද
බියකරු සසර මෙය බවවත් දැනුනාද
සූසැට ශිල්ප සල්පිල් සුවදින් පිරුණ
විදිය කොනක දුටු හුරු මුහුනකි තරුණ
පවසයි කල දවස අත් බලමින් යනෙන
පෙනුනිද කල දවස මගෙ වත දුටු පමණ
සැරයටි සරණ විය දිවි මග පුරාවට
හිරු රැස් කිරණ විඳ කර්කෂ අහස යට
හැරමිටිපාන සිට ඇදි තුන්නූල් ගැට
අතරින් දුටුව දිවියම කෝඩුවකි මට
නගිනට නොහැකි පියගැටපෙළ දකින විට
ඇතිවිය පසුතැවිල්ලක් හිත පපුව යට
බැලුවිට බුදු සමිඳ විමසා මොහොතකට
වඳිනට නොහැකි සිරිපා සරදමකි මට
කුරුළු රැහැයි හඬ ඝණ්ඨා හඬින් ඇහේ
බැලුවෙමි හතර අත විමසා එවුන් රැහේ
ඩෝං පුතේ අග්ගලා රස රැඳුනෙ කොහේ
නිවුනලු පහන් සිල පෙනි පෙනි දොලොස් මහේ
වාරයේ වැඳිය නොහැකිම තැන සිරිපාද
අවාරයකවත් කරුණා කරනවද
සසරින් එතෙර වන මග මට කෙටි වේද
බුදු හිමි සඳුනෙ අනුකම්පා කරනවාද
------------------------------------------------------------------------------------------
No comments:
Post a Comment