උපන්දා සිට පිදුව ප්‍රේමය
බැංකු වත්තෙම කොනක පස් කර
මඩුවේ කෙළවර මුල්ලේ තනිකර
දිවියෙ කෙළවර සැඳෑ සමයට
එකතු කරනට යමක් නැති තැන
දුරක් ගෙවමින් එන්න සිදු උන
තැනයි නානාගේ පාට මස් කඩ
මඩුව කෙළවර ලේ සුවඳ මැද
නුඹගෙ සුවඳත් කොනින් දැනුනා
සුවඳ මැද්දෙන් නැමී බලනා
නානා අලුගෝසුවත් රවනා
රැවුම් ගෙරවුම් අතර පැද්දෙන
නුඹගෙ පෙම ළං කෙරූ නානා
පෙමට දිරි දුන් සකි සඳක් සේ
හද කොනේ ඔහු විටෙක දිලෙනා
නාඬා ඉඳින් හෙට නුඹ හැර යන දවස
දහසක් පිරිස් සැරසී ගෙන ගිජුව මස
මා මෙන් නුඹද යලි හෙට දිනකදි කෙලෙස
එක්වී පිනවිය යුතුය උන්ගේ රස පවස
උරුමය කරුමය සම්මත අසම්මත
ප්‍රේමය අතර බේදය මිමි කිසිත් නැත
හිස් මිනිසුන්ගෙ පෙම්බස් රස මේස මත
මදුවිත සමග අපේ මස් රස විඳිනු ඇත
දෑඟිලි පටලමින් නිති පෙම්බස් දොඩන
පෙම්වත් පිරිස් වෙයි මස රස කර බුදින
මතුයම් දිනෙක උන් අප පෙම කිම හැඳින
අරුතක් දේද මනුසත් බව මස් බුදින
මනුසත් බවක් ලබනට පින නැත පමණ
තිරිසන් පෙම්වතුන් ලෙස කළ පින දකින
දෙව් මහ බඹුන් අප පින්වත් යැයි සිතන
මනුසත් බව දේද පෙම් හැඟුමන් පුරන
--------------------------------------------------------------------------
(සේයාරුව අන්තර්ජාලයෙනි)
© අවාරේ සිතුවිලි - Awārē Sithuvili
No comments:
Post a Comment