පළල් පුළුල් රෝහල්
කොරිඩෝර
අවසන පටු ඇතුල්
වීමේ දොරටු තිර විනිවිද එන
දෙකන් බැඳ අගූළු ලන
කිරි සුවඳ වාහක
තනි ස්වර නැවුම්
සෘති ගත
බිළිඳු හැඬුම් දස අත.......
එකම හැඩතල ගත
කම්හලක දවසේ නිමවුම මෙන
වැදුම් ගෙයින් වාට්ටු මව්වරුන්
දෝත් මුදුනින් පිලිගත්
පංචස්කන්ධ සැකවින් ලකුණු
කළ
රෝස පැහැ ළපටි බිළිඳුන්.......
මව්වරුන් ඔවුන් සෙනෙහෙන් ඩැහැගෙන
තුරුල්කර ගනිත් හැඟුමින් සුදු මල් වට්ටියක්.......
වග වාසගම් කුලගොත්
කොහිද සටහන් ඔවුන්ගේ ලපටි මුහුනත
කිරි සුවඳ වාහක
හැඬුම් හඬහැර.......
සිහිනෙට සිනා වෙන
මුහුණට හාදු දෙන පියවරුන්
තම වරිගයේ තම
බලවත්
පෙලපත් හිතින් ඇඳි ඡායාවන්
මව්ගේ ඔච්චම් සිනා මැද
බිළිඳු මුහුණින් දකින සෙනෙහස ගල්වන
පියවරුන්.......
ටික දොහක අවසන
රෝහලින් පිටව යත්
උන්ගේ පෙලපත් වග වාසගම්
කුලගොත් සහිත ලේබල්
ගැටගැසූ බිළිඳුන්
--------------------------------------------------------------------------
(සේයාරුව අන්තර්ජාලයෙනි)
© අවාරේ සිතුවිලි - Awārē Sithuvili
--------------------------------------------------------------------------
(සේයාරුව අන්තර්ජාලයෙනි)
© අවාරේ සිතුවිලි - Awārē Sithuvili
No comments:
Post a Comment