දහමට බරව සිතිවිලි ගුරු පාර දිගේ
යනෙනා විටදි හරි හරි දෑ සිතට නැගේ
සුසිනිඳු වැලි සේම ගල් බොරලුද පෑගේ
නැවතී හැරී බැලු විට දුටු රුවකි අගේ
කම්සැප වින්ද දිවිමග අග කණිසමක
කසාවතට ගත දන් දුන් හිමි නමක
රුව දුටු සැනින් සිහිවිය මින් පෙර දිනක
දෙසූ දහම තබමින් සිත කොන් දෙකක
පහුරක් ලෙසට ඇති දිවි ගැට ලිහනු සිතා
දෙව්රක් බරට පින් ලබනා ලෙසට සිතා
දෙවරක් නොසිත කන් යොමු කර ඇසූ කතා
මෙවරත් කණ වැටුනේ මේ බුදු බණකි සිතා
ගසා අඳනකඩ කැසපට සීරුවට
වසා නිමිති කුණු කය ගත යන්තමට
මුසා නොවෙද තෙපුලන රළු වදන් කට
නසා ලන්න සිතුවලු දුක කුටිය යට
අඹුදරු මුණුපුරන් හඬනා හැඬුම් නඳ
හූවක දුරක නැත බත ඉදෙනා සුවඳ
තෙල් මල් පහන් පිදුවද පිළිමය නමැඳ
දුක් මුසු සසර මග නිසැකව කෙටි වේද
දුම් රොටු පහන් සිල පරයන කපුරු පෙතී
සුසුමක් සමග කොළ දුමකුත් උරණ හැතී
සියක් අට වරක් ජීවම වැළඳු පෙතී
පැළඳූ යුවති ඔහු රිසි ලෙස දීග යතී
කොණ්ඩ වල්ලියාගේ අඳුනම මගෙද ඇත
කාසි පඬුරු හැර කොල ප්‍රිය සිනහ වත
මිණිපිරි ගියද ඈ සිය හිස හැරුණු අත
කහකඩ අඳුනෙ ගියෙ කොහෙදැයි පෙනුනෙ නැත
සොයනා සැමට මග බන්ධන හැර යන්න
ලැබුනා නොමඳ වැදි බණ පද නොසැහෙන්න
වසනා පෙදෙස සෙනසුන දන්මන් පුදන
අසනා මෙමට නොකියන හේතුව මන්ද ?
ඔරුවක් අතැති මුත් හබලක් කොහිද කියා
සොයමින් හතර අත විමසුම් දෙනෙත අයා
දහසක් සඟුන් අතරින් ගුරු පාරෙ ගියා
වරෙක සිතේ ඒ මිනිසා මමද කියා
----------------------------------------------------------
(සේයාරුව අන්තර්ජාලයෙනි)
© අවාරේ සිතුවිලි - Awārē Sithuvili
No comments:
Post a Comment